Thursday, September 7, 2023

ගාලු කොටුවෙ මතක කතා

මේක ගීත කතාවක්
මීට වසර කීපයකට කලින් මගේ මිතුරෙකුගෙ පෙම් හමුවකට සහයක වශයෙන් සහභාගී වෙන්න කියල ආරාධනාවක් ලැබුණ. ඒක ඔවුන් දෙදෙනගෙ පළමු හමුවීම. මට දෙන්නගෙ නම කියන්න බෑ, නොකියන්න හේතුව ඉදිරියට වැටහේවි.. දෙන්න මුණගැහෙන්න යොදාගෙන තිබුනෙ එහෙම මුණගැසීම් වලට ප්‍ර‍සිද්ද තැනක්, ඒ ගාලු කොටු පවුර. ඉතින් අදාල දවසෙ උදේම මිත්‍රයත් මමත් මගේ බයික් එකේ අදාල හමුවට ගියා. ඇයත් ඇවිත් තිබුනෙ ඇගේ මිතුරියක සමග. ඉතින් ගාලු කොටුවෙ එක කොනක දෙන්න පෙම් පිළිසදරට වැටුන, මිත්‍ර‍යත් ඇගේ පෙම්වතියත්. මම කාෂ්ඨක අවුවෙ, මුවාවෙන්න හෙවනකුත් නැති කොටු පවුරෙ උඩ කරවෙනව..( තළ නම් තෙළට වේලේ මී බෙටි කුමට වේලේ කියල කට්ටිය කියනව ඇති) ඉතින් අර ඇගේ යෙහෙළිය එක්ක කතාවක් දාගෙන ඉන්න තිබුණනෙ කියල කට්ටිය හිතනව ඇති, අම්මෝ ඒක හෙන හයි ක්ලාස්, අපි වගේ මධ්‍ය පාන්තිකයන්ට ගැලපෙන්නෙ නෑ. අනික කතාකරන්න ගිහින් නිකං හරි ඉංග්‍රීසි වචනයක් දැම්මොත් මට වෙන්නෙ මුහුදට පනින්න තමයි, ඒ තරම් අපේ ඉංග්‍රීසි දැනුම හොදයිනෙ. ඉතින් මටත් එතන කරන්න තිබුණ එකම දේ තමයි අතොරක් නොපෙනෙන මුහුද දිහා බලාගෙන ඉන්න එක. මුහුද කියන්නෙ කොච්චර බලාගෙන හිටියත් එපා නොවෙන දෙයක්නෙ. කොහොමත් එතන වටපිට බලන්නත් බෑ. හැමතැනම, හැම මුල්ලකම කපල් පිරිල, ඒව බැලුවම අපේ පුංචි මල් වගේ හිත් බිදෙනව, අනික ඒ ඇත්තොත් අපහසුතාවට පත් කරන්නෙ මොකටද? නේද? ඉතින් බලාගෙන ඉන්න තියෙන එකම පැත්ත, මුහුද විතරයි.
ඉතින් ඔහොම මුහුද දිහා බලාගෙන ඉද්දි මගේ මිත්‍ර‍යට සහ ඇගේ පෙම්වතියගෙ ලවු එකට පින් සිද්ද වෙන්න මට සිංදුවකට පද දෙකතුනක් හිත ඇතුලෙ කියවෙන්න ගත්ත. මමත් ඒ වගේ වෙලාවට කරන්නෙ ඒ හිතෙන දේවල් මගේ දුරකථනෙ සටහන් කරගන්නව. සම්පූර්ණ සිංදුවම එකපාර ලියවෙන්නෙ නෑ. පස්සෙ නිවාඩුපාඩුවෙ තමයි ඉතුරු ටික ලියන්නෙ. මේ ඒ වචන ටික.

සීතල වැහිපොද සුළගට පාවී
අප සිටිනා විට පවුරු කොනේ
මුහුණ හොවාගෙන මගෙ ලය මත්තට
දගකල මතකය තවම තියේ
ආයෙත් දවසක ඔබ හා යන්නට අතීතයේ මල් මතක දිගේ
ඔබ එනවාදෝ මතක ලියන්නට
ගාලු කොටුවෙ ගල් බැම්ම දිගේ....

ඔහොම පද ටික ලියවෙද්දි මගේ මිත්‍ර‍යගෙ සහ ඔහුගෙ පෙම්වතියගෙ පෙම් හමුවත් එදිනට අවසන් උනා. ඉතින් අපි දෙන්න ඇය සහ මිතුරිය බස් එකටම ඇරලවල මමයි මගේ මිත්‍ර‍යයි වැලිගම එන්න පිටත් වෙද්දි, ඔහුගෙ පෙම්වතිය සහ ඇගේ මිතුරිය කොළඹ යන්න පිටත්උනා. පද ටිකේ සීතල වැහිපොද කිවුවට එදා සැරට පායනව.

දැන් ඉතින් මගේ ගාව අසම්පූර්ණ වචන ටිකක්, ඒ දවස්වල එහෙම එකක් ලියල ඉවර කරනකම් මට නින්ද යන්නෙත් නෑ. කොහොමහරි නිවාඩුපාඩුවෙ මමත් සිංදුවෙ ඉතුරුටික ලියන්න සෙට් වෙලා, අමාරුවෙන් කොහොමහරි මැද කොටසෙ වචන ටිකත් ලියාගන්න පුළුවන් උනා.

පරිස්සමෙන් මා ඔබ රැකගත්තෙමි
සුලං කොඩයෙන් තෙමෙයි කියා
ඔබට නොදැනුනත් ඒ හැම වැස්සට
මගේ සිතින් ආදරේ කලා
සුන්දර මතකය හමුවුණු හැමතැන අතීතයේ පෙම් මතක සොයා
යමු අපි දවසක මේ මල් පාරෙම
ඔබ මා හමුවුණු මතක සොයා...

දැන් තමයි ප්‍ර‍ශ්නෙ පටංගන්නෙ, වචන ටික ලස්සනට ලියවුණාට(අනිත් අයට කොහොමද දන්නෑ මට ලස්සනට දැනුන.) හැබැයි ඒ වචන ටික එකට කියවද්දි කියවන කෙනාට අදහසක් එනව වගේ දෙන්න වෙංවෙච්ච විරහ ගීතයක් වගේ කියල. ඒත් මුන් දෙන්න ලවු එක පටංගත්ත විතරයි. මම මේක විරහ ගීයක් විදිහට ලියන්නෙ කොහොමද.
උන් දෙන්න ලවු කරනව, මම මේක ලියන්න අරගෙන දුක්විදිනව. මමත් සටන අතාරිනවද. නෑ හිතවතුණි නෑ. ලිවුව අන්තිම කොටසත්.

එදා මගේ ඔබ පෙම්වතියයි ප්‍රිය
අද ඇත දරුවන් ඇකයෙ හොව
අනේක බාධක සිතින් දරා ගෙන
ආ මග මා නොහැරම කිසිදා
ඉතින් එක්ව යමු මේ දිවි ගමනේ නොපෙනෙන ඉම තෙක් අපේ වෙලා
මා පුතු නලවන ඔබෙ ගී රාවය
පෙර මතකෙට මා අරං ගියා...

ඉතින් ඔහොම තමයි මගේ මිත්‍ර‍ය සහ පෙම්වතිය පෝරුමස්තකාරූඪ කරල, දරුවො හදල තමයි මම පස්ස බැලුවෙ.( සිංදුවෙන් හොදේ) දැන් ඉතින් මටත් සතුටුයි, ඒක කියවපු ඒ දෙන්නටත් සතුටුයි.
කාලය ඔහොම ගියා. දැන් ඒ දෙන්නම බැදල, හැබැයි පෙම්වතියො, පෙම්වත්තු මාරුවෙලා. මම මුලින්ම කිවුව මතකද, දෙන්නගෙ නම සදහන් කරන්න බෑ කියල. ඔන්න හේතුව. මේකෙ උන්ගෙ නම් කියල උන්ට පවුල් කන්න වෙන්නෙ නෑ, මගේ මිත්‍ර‍යට පවුළගෙන් කන්න වෙනව. ඔන්න ඒ ගීතයෙ පාදක කතාව.
කට්ටිය අහනව මම ලියන හැම එකක්ම මගේ අත්දැකීම්ද කියල. ඔන්න උත්තරේ. ඔහොමයි ඒක ලියැවුනේ.

 


Wednesday, July 6, 2022

පින left

 

තවත් මතකයක්

මම මගේ පුංචිකාලෙ ගැන මීට කලින් ඔයාලට කියල තියෙන විදිහට මගේ මතක ගොඩක මූලස්ථානය තමයි ගමේ පන්සල. මේකත් එහෙටම සම්බන්ද කතාවක්. පන්සල මගේ ජීවිතේට කොච්චර සම්භන්දයිද කියනවනම් ගෙදරට වැඩිය මතක පිරිළ තියෙන්නෙ පන්සල එක්ක.

ගෙදරදි මෙලෝ වැඩක් නොකරපු අපි පන්සලේ නම් මැරීගෙන වැඩ, ඒව නම් අදටත් එහෙම තමයි. අපි කිවුවෙ මම අයිය, තව සමවයසෙ වගේම අයියගෙ වයසෙ අය එහෙම.(වැඩිපුර හිටියෙ අයියගෙ යාළුවො තමයි.) ඉතින් හැම මාසෙම පසලොස්වක පොයට සිල් ගන්න එක නම් කරා හරියටම. එහෙම සිල් අරගෙන අපි හවසට යනව තෙල් සම්මාදමේ.. දැන් අය නම් දන්නෙත් නැතුව ඇති ඒ මොකක්ද කියල, තෙල් සම්මාදම කියන්නෙ පන්සලේ හවස පූජාවට අව්‍යය තෙල් එකතු කරන්න අපි ගම වටේම ගෙවල් වලට යනව. කිලෝමීටර් ගානක් දුර. එහෙම ගියාම තෙල් විතරක් නෙමෙයි පන්සලට ඕනකරන සබන් කැට,බිස්කට් වර්ග විතරකුත් නෙමෙයි සල්ලි එහෙමත් ලැබෙනව. ඉතින් එහෙම යන ගමන් වලදි අදින්නාදානය කැඩුණු අවස්ථාත් නැතුවම නෙමෙයි. ගහක අඹ ගෙඩියක් එහෙම නොකැඩුවාම නෙමෙයි ඉතින්.. දන්නැද්ද සීලෙ ටිකක් අමතක වෙලා ඩාම් වෙලා ඩූම් වෙන වෙලාවලුත් තිබුණ. බැණුම් අහපු වෙලාවලුත් නොතිබුණාමත් නෙමෙයි..

ඉතින් කොහොම හරි හවස්වෙදිදි පන්සලට ඇවිත් අර එකතුකරපු සල්ලි එහෙම ගැණල අනිත් හැම දේම එක්ක ලොකුහාමුදුරුවන්ට දෙනව. ඒවට මම දන්න තරමින් කිසිම වංචාවක් උපද්ද්‍රවයක් කරේ නම් නෑ. මොකද අපි මොකට බය නැති උනත් සාංගික දේවල් අරගෙන ගල් පෙරේතයො වෙන්න නම් බයයි. දැන් ඉතින් අහන්න එපා පන්සල් වත්තෙ තැබිළි ගෙඩියක් වත් හොරාට බීල නැද්ද කියල. තැබිළි බීල තියෙනව හැබැයි පොඩි හාමුදුරුවොත් සම්භන්ද කරගෙන. (එතකොට හොරකමේ විපාක ටිකක් විතර බාල වෙනවනෙ. පන්සලේ කෙනෙකුත් ඉන්න නිසා..හී...)

හරි වටපිටාව මේකට ඇති මූලික කතාවට එන්නම් දැන්.

කොහොම හරි ඔය විදිහට ලොකු වෙද්දි ටික ටික පෝයට සිල් ගන්න එක නම් මගඇරුණ, ඒත් පන්සලේ සුද්දකරන වැඩ එහෙම හැම පෝයටම කරා.. ඔහොම ඉතින් පෝයක් දවසක උදේ ඉදල කොල්ලො ටික පන්සලේ මහා ශ්‍රමදානයක් තිබුණ. ඉතින් එදා කට්ටිට බුදු මැදුර වටේ එහෙම සුද්දපවිත්‍ර කරල වැඩේ ඉවර වෙද්දි කොහොමත් දවල් දොළහ විතර වෙලා. ඉතින් වැඩේ ඉවර කරල තැබිළි ගෙඩියක් එහෙම කඩාගෙන බීල කට්ටිය පන්සලේ ළිදෙන්ම නා ගන්නත් සෙට් උනා..(හරි හරි තැබිළි බොන්න හාමුදුරුවො අවසර දීල තිබුණෙ.) හැබැයි මේ වෙද්දි හාමුදුරුවො ඔක්කොම දානෙ ගෙදරක වැඩල තිබු‍ණ. පන්සලේ වත්ත පහල තියෙනව ටිකක් ලොකු ළිදක්, ලොකු කියන්නෙ ගැබුරු නෙමෙයි හරියට පොකුණක් වගේ එකක්. අතින් අල්ලන්න තරම් වතුර. ඒකෙ වතුර බොන්න පාවිච්චි නොකරට අනිත් දේවල් හැම එකටම ඒකෙන් තමයි වතුර ගත්තෙ.

කොහොම හරි කට්ටිය ටික ගොඩ ඉදන් නෑවෙ වතුර දෙකයි, එකඑකා ලිදට පනිනව. කට්ටියටම රජ මගුළ්. ඔහොම පැය තුනක් විතර නාල ඉවර වෙලා ළිදෙන් ගොඩ එද්දි ලිද දැන් මඩ වලක් වෙලා. කට්ටියත් තෙත ඇදුම් පිටින්ම ගෙවල් වලට ගියා. කට්ටියත් හරි ජොලියෙ ගෙවල් වල හිටියෙ තව පැය දෙකක් විතර තමයි. ලොකු හාමුදුරුවො උපාසක ඇත්තන්ගෙ සිල් මුදවල හවස පහට විතර අපේ ගෙවල් පැත්තට වඩිනව. ශ්‍රමදානෙට පිං දෙන්න වෙන්න ඇති කියල අපිත් හරි සතුටු උනා. කොහෙද සතුට දෙපිටින් යන්න හාමුදුරුවො බැන්නෙ නැතෑ අපිට. හොද ටික ලෙෆ්ට්. බැණල අන්තිමේ කිවුව ගිහින් ලිද හිස්කරල දාන්න කියල. (නිවන් යන්න හිතන් සිල්ගන්න පන්සල් ගිය උපාසක අම්ම කෙනෙක්  පත්තුකරල ගිහින් ගින්න.)

මොනව කරන්නද ආයෙ කට්ටිය එකතු කරගෙන ගිහින් තව ඇති වෙනකම් පැණල නාල ලිදත් හිස්කරල රෑ වෙලා ගෙවල්වල ගිහින් ආයෙ ගෙදරිනුත් කුණු බැණුම් ඇහුව. ඔන්න ඔහොමයි සමහර පිංකම් ගොංකම් වලින් ඉවර උනේ..

ඒත් ඉතින් අපි පන්සලේ වැඩ කරන එක නැවැත්තුවද පිංවතුණි.. කොහොමවත් නෑ.

කට්ටිය මොකද හිතන්නෙ ? තව මතක නම් ගොඩක් තියෙනව ඒවත් හිමිහිට කියන්නම්..

Tuesday, July 5, 2022

මතක දිගේ වෙරළට

 

  හවසට ඉර බැහැගෙන යද්දි ඉර මුහුද සිප ගන්නව වගේ කියල මට හිතූන. හරියට මුහුදු වෙරෙළ පේලියට වාඩිවෙලා ඉන්න පෙම්වතූන් සිපගන්නව වගේ. ඒත් අද ඒක ඇත්තටම එහෙමද කියල මට හිතුන. ඉර මුහුදත් එක්ක තරහ වෙලා. ඈත ගස් අතරින් හිමිහිට පල්ලම් බහිනව.

 ඉර මුහුදත් එක්ක තරහ වෙලා, ඇය මාත් එක්ක තරහ වෙලා. හරියට අපි ගැන දැනිල වගේ. මුහුදු රැල්ලත් වෙරළත් එක්ක රහස් කථාවක. රැලි එක එක හිමිහිට ඇවිත් වෙරළට මොනවද මුමුණනව. හරියට මම අද තනියම ඇයි අහනව වගේ. ඒ තරම්ම මුහුද අපිට ලන්වෙල.

       මුහුදෙ පෙනෙන නොපෙනෙන ඈත නැවක්, හරියට පොඩිකාලෙ පොත් වල පිටු කඩල හදපු කොල බෝට්ටුවක් වගේ. ඒ දිහා බලාගෙනම මගේ හිතත් ඈතට ගියා.

මටවත් හොයාගන්න බැරිතරම්.

       හැමදාම ගෙදරට බොරුවක් කියල ගෙදරින් පැනගත්තට එයාව ගෙදරින් ගන්න එක පොඩි ක්‍රියාන්විතයක් වගේ. පුස්ථකාලෙට යනව කියල හැමදාම ගෙදරින් පැන ගත්තට කවද හරි ඒ බොරුවට ආයුෂ නැතිවෙන බව අපි දන්නව. ඉස්සරනම් පන්ති යන නිසා බොරු කියන්න ඕන උනේ නෑ. ඒත් දැන් එහෙම නැති නිසා වෙන කියන්න තරම් හොද බොරුවකුත්නැති එකේ ඒ බොරුවම හැමදාම පෙරලනව. බොරුවක් කියල ගෙදරින් පැනගත්තට මොකද යන්න තැනකුත් නෑ.

අපිට එකම පිහිට මේ මහ මුහුද විතරයි.

      මේ බංකුවක් උඩ වාඩිවෙලා අපි කථා නොකරපු දෙයක් නැති තරන්. ඒත් හැමදාම කථා කරන්න තරම් දේවල් තිබුන. ආදරේ කරන අය කථා කරන්නෙ අනාගතේ ගැන කිවුවට අපි අපේ ගැන කථා කලේ නැති තරම්. අපි කථා කරේම අනිත් අයගෙ ප්‍රශ්ණ ගැන. හැබැයි අපිට ප්‍රශ්ණ නොතිබුණා නෙවෙයි. ඒ හැම ප්‍රශ්ණයක්ම අමතක කරල අපි අනෙක් අයගෙ ප්‍රශ්ණ වලට පිළිතුරු හෙවුව. ඒක විහිලුවක් කියල හිතුනට ඒක තමයි ඇත්ත.

        අපි හැමදාම අහසයි මුහුදයි එකතුවෙන ක්‍ෂිතිඡය දිහා බලාගන තර්ක කරා, වෙලාවකට ඇඩුව. මොකද අපිත් හරියට එකතු නොවෙන ක්‍ෂිතිඡය වගේ කියල හිතනකොට ඉවසන්න බැරි තරම් දුකක් හිතට දැනුණ. හවසට මුහුදට පහත්වෙන ඉර දිහා බලාගෙන අපි හීන දැක්ක. පොඩි දරුවො වටවෙල හදන වැලි මාලිගා මුහුදු රැල්ලට කඩාගෙන වැටෙන කොට අපි හිනා වුනාට කවදාවත් අපි හදපු හීන මාලිගා මේ විදියට කඩා වැටේවි කියල කවදාවත් හිතුවෙනෑ. මොකද ඒ තරම්ම හොද පදනමක් ඒවට තිබුන. ඒත් ඒ හැම හීනයක්ම හීනයක් විතරයි කියල හිතෙනකොට මහ හයියෙන් අඩන්න හිතෙනව. ලෝකෙටම ඇහෙන්න.

        මෙහෙම වෙනකොට ගෙදරින් නොදැන ගත්තම නෙමෙයි. ගෙවල් වලට පොඩි පොඩි ආරංචි ගිහින් තිබුනට තාම ගිණි ගත්තෙ නෑ. මොකද කියපු බොරුවල හැටියට සැක හිතන්න බැරි තරන්නෙ. පහු වෙනකොට නම් ගෙවල් වලින් දැන ගත්ත, එහෙම සම්බන්දයක් තියනවනම් දැන්ම නවත්තන්න කියල ගෙවල් වලින් අවසන් නිවේදනත් දැම්ම. මට ලොකූ ප්‍රශ්ණයක් නොවුනට එයාට නම් ගෙදරින් එලියට යන්න දුන්නෙ අම්මත් එක්ක විතරයි. මුහුදු හුලගට විරුද්දව පියාඹන්න හදන කූරුලු ඡෝඩුවක් වගේ අපිත් ඒ හැම ප්‍රශ්නෙකටම මුහුණ දුන්න.

    කාලයක් මෙහෙම ගෙවුන. ඒත් එකපාරටම එයා මාව මග හැරිය. මම එයාගෙ යාළුවගෙ අතේ විස්තර අහල යැවුව. හැබැයි එයා මට ලිවුවෙවත් පණිවිඩයක් එවුවෙවත් නෑ.

එයා දැන් වෙනස් වෙලා. එයාට මම කවදාවත් දැකල නැති කෙනෙක් වගේ. මගදි මුන ගැහුනත් අහක බලා ගන්නව. ඒ හැමදාම එයාට ගෙදරින් බලපෑම් ඇති ඒක නිසා වෙන්න ඇති කියල හිත හදා ගත්තට එයා තනියෙන් මුනගැහුනත් නොදැක්ක විදිහට ගිය දාට මම ඇඩුව, හයියෙන් ඇඩුව, ඒ ඇස් වලින් නෙවෙයි හිතින්.

     මේ වැල්ලෙ හැම වැලි කැටයක්ම අපි පාගල ඇති. ඒ වැලි කැටයක් ගානෙ අපිව අදුරනව. ඒත් එයා දැන් මාව අදුනන්නෙ වත් නැති ගානයි. අද මේ බංකුව එක පැත්තක් හිස් වෙලා. මම විතරක් තනියම මුහුද දිහා බලාගෙන. ඡීවිතේ හැටි මේක තමයි හැම හමුවීමකටම වෙන්වීමක් තියෙනව, අවශ්‍යතාවයට එන අය වැඩේ අවසන් උනාම යනව, අපිට නවත්තගන්න ඕන උනත්.

 මම කොහොම හරි හිත හදාගන්නව.

       මේ පාලුව තනිකම හරි කටුකයි එතකොට හිතනව වැඩියි. මම මගේ හොදම යාලුවට කෝල් එකක් ගත්ත.

ඔහුගෙ දුරකථනයෙ ගීතයක් වාදනය වෙනව.

         

      පැහැසර ඔබෙ අදරේ

      මන්දාරම් අදුරේ වෙලී

      සැගවී ගිය ඔබෙ සෙනෙහේ

      හිත රිද්දනවා රහසේ

 

     මගේ අතින් ඉබේම දුරකථනය විසන්දි වුනා.            

 

 

Thursday, January 28, 2021

පාට නැති හීන..


හැමදාම පායපු ඉර අදත් උදෙන්ම අහසට ආව. ඒත් තව වෙලා රෑ දිග උනා නම් හොදයි කියල මට හිතුණ. මොකද එලිවෙද්දි ඇහැරෙන්නෙ ඇස් දෙක විතරක් නෙමෙයි හිතත් අවදි වෙනවනෙ. හැමදාම පුරුද්දට වගේ අදත් පාර දිහා බලාගෙනම මගේ හිත ඈතටම ගියා. දෙපැත්තෙ මල් පිපිල, කුරුල්ලො සින්දු කියනව. දෙපැත්තෙ කුඹුරු වල ගොයම් හුළගට වැනුනෙ හරියට කුරුළු ගීත වලට තාලෙ අල්ලනව වගේ.. ඉර පායප තිබුණට ඇගට හීතලකුත් දැණුන. පොඩි නංගිල මල්ලිල එක්කෙන දෙන්න පාර දිගේ එන්නෙ හරියට සුදු කොක්කු රෑනක් වගේ. වටපිටාව පුදුම ලස්සනයි, මගේ හිතත් ඒ වගේම ලස්සනයි. කන්ණාඩියෙන් මූණ බලනව, කොන්ඩෙ පීරනව, ආයෙත් අතින් වෙනස් කරනව හරියට මගුල් ගෙදරක යන්න වගේ. ඒ අස්සෙත් ඇස්දෙක පාර දිහාට දුවනව. ආයෙත් කන්ණාඩිය ලග අයියගෙ ක්‍රීම් එකත් ගානව, මටත් වෙලාවකට පිස්සු වගේ...
තාමත් ඇස්දෙක පාර දිහා බලාගෙන.....
පාරෙ ඈතින් මතුවෙන රූපයක් නිසා හිත ගැස්සෙනව, වැට අයිනට ගිහින් හොදට බලනව. ඒත් එයා නෙමෙයි. ආයෙත් දොරකඩ ලගට වෙලා පාර දිහා බලනව, අනිමිස ලෝචන පූජාව. එයා අද එනවද, එන්නෙ නැද්ද, ඇයි අද පරක්කු, අතොරක් නැතුව හිත හිතනව. පරක්කු උනාට එයි ඒවි මම හිත හදාගන්නව.
කවදාවත් එක වචනයක් වත් කතාකරල නැති මං ගැන හිතනවද දන්නෙ නැති කෙනෙක් ගැන මම මොකට මෙහෙම වදවෙනවද, එයා මං ගැන හිතන්නෙවත් නැතුව ඇති. මාව මතක්වෙන්නෙ වත් නැතුව ඇති. අනික මම එයාගෙ කවුද, මං ගැන හිත හිත ඉන්න. මාව මටවත් අයිති නැති එකේ ඇයි එයා මං ගැන වදවෙන්නෙ, මම ඇයි එයා ගැන වදවෙන්නෙ. ඒත්
තාමත් ඇස්දෙක පාර දිහා බලාගෙන.....
හීත තවම හිතනව, හීන මවනව. හැබැයි ඒ හැම දෙයින්ම එයාව දකින්න තියෙන කැමැත්ත තව වැඩියෙන් හිතට දැනෙනව. ඈත වංගුවෙන් මතුවෙන රූප නිසා හිත ගැස්සෙනව. හරියට නැතිවුනු දෙයක් හොයනව වගේ. ඇස් ලොකු කරගෙන මග බලපු රූපය හොයනව. හතර පස් දෙනා එකට එනකොට එක්එක්කෙනාව වෙන වෙනම බලනව, ඒත් එයා තාම නෑ. හිතට දුකයි තරහයි, දෙකම. මගේ ඇහැට එයාව මග හැරුණද. එයා මට නොපෙනි ගියාද? මම බලන් ඉදපු විදිහට මට එයාව මගහැරෙන්න විදිහක් නෑ.
දැන් හොදටම පරක්කුයි, ඉස්කෝලෙ පටංගන්නත් ලගයි, අද එන්නෙ නැතුව වත්ද  ? එහෙම උනොත් කොහොමද මම කාමරේට වෙලා පාඩම් වැඩක් කරගන්නෙ, උසස්පෙළ විභාගෙට තව මාස කීයද, දැන් නම් එයා නොදැක, මොකද උනේ නොදැන එක හිතකින් කිසි දෙයක් කරනව බොරු. හිත තාම කියන්නෙ එයා ඒවිමයි කියල. 
හොදට දැකල පුරුදු මූණක් පාරෙ ඈත වංගුවෙන් මතුවෙනව, හිතේ ගැස්ම හරියට තොවිලෙ බෙරේ වගේ. ඒ එයාගෙ නංගි. අද නංගි තනියම මොකද, එයා එන්නෙ නැද්ද? මොනව වෙලාද? ලෙඩක් වත් හැදිලද, දැන් තවත් ප්‍ර‍ශ්ණයක්. නංගි ඉක්මන් ගමනින් අඩිය තියල එනව, අද හොදටම පරක්කුයි නෙ. අද අක්ක නැත්තෙ මොකද කියල නංගිගෙන් අහන්නද ? බෑනෙ. එතකොටම අම්මත් ඉක්මනට ඉක්මනට පොඩි දුව පිටිපස්සෙන් එනව. මැරතන් එකක් වගේ. ඒත් මම ඇස් රිදෙනකම් බලන් ඉදපු කෙනා නම් පේන්න නෑ, එතකොට එයා ගෙදර තනියමද ? මගේ ඔලුව තොවිලෙ වගේ අවුල් වෙලා. ගෙදර තියෙන තැන දන්නව නම් ගිහින් රවුමක් ගහල බලන්නවත් තිබුණ. ඒකටත් ඉත්න් ගේ තියන තැන දැනගෙන ඉන්න එපායැ. හොයන් යන්නත් බයයි, මාට්ටු උනොත් මේ දකින්න තියෙන ටිකත් නැති වෙනව නෙ. 
රෝස පාට ගවුමක් ඇදගත්ත රූපයක් වංගුවෙන් මතු උනා. කිසිම හදිස්සියක් නෑ,ඒ එයාම තමයි. හිමින් හිමින් අම්මගෙ පිටිපස්සෙන් එනව. මට නම් හිනාත් එක්ක. පොඩි දුව ඉස්සරහින්, අම්ම අඩි විස්සක් විතර පිටිපස්සෙන්, ඊට පස්සෙන් එයා. හරියට විරසක වෙච්ච අය වගේ.  කොහොම හරි අපේ ගෙදර ලං වෙනකොට අර දුර පරතරය ඉවරයි. දැන් අම්මට ලංවෙලා අම්මව මොකක් හරි කතාවකට අල්ල ගන්නව. අම්ම එක්ක කතා කරන ගමන් හොරාට අපේ ගේ දිහා බලනව. අම්මටත් ටිකක් සැකයි වගේ, මොකද හැමදාම වෙන්නෙ එකම විදිහටනෙ. අපේ ගේ දිහාත් දූ දිහාත් බලනව. ඒත් අම්ම මම දැක්කෙ නෑ. එයා තාමත් මං දිහා බලාගෙන.
උදේ පාන්දර ඉදල හැඩ වෙලා ඇස්දෙක රිදෙන කම් පාර බලාගෙන ඉදපු මම ඒ ඇස්වලින් බේරෙන්න බිම බලාගන්නව. මම ඔලුව උස්සනකොට එයා ගේ පහුකරල ගිහින්. අනේ ඉතින් මම වගේ මෝඩයෙක්, අච්චර මූණ බලපු වෙලාවෙ හිනාවෙන්න තිබුණු අවස්තාව නැතිකරගත්තෙ. මම හිනා උනාම එයා හිනා නොවුනොත්? මම මටම දොස් කියා ගන්නව. එයා මං දිහා බලල හිනා උනාද? රැවුවද? දැන් තව ප්‍ර‍ශ්ණයක්. එයා බලුවෙ මට කැමති නිසා වෙන්න ඇති. මම හිත හදාගන්නව.
මෙහෙම දේවල් හිතෙන්නෙ මට විතරද? නැත්නම් හැමෝම එහෙමද ? කාගෙන්වත් අහන්නද. උන් කියාවි උබට පිස්සු හැදීගෙන එනවද කියල. මේක පිස්සුවක් නම් මට ඇත්තටම පිස්සු. 

මම තාමත් පාර දිහා බලාගෙන...

ලොකු සද්දයක් එක්ක ලොකු රන්ඩුවක්. ගෙදර ඉස්සරහ තියෙන මැරිච්ච කිතුල් ගහේ බිත්තර දාන්න ආපු ගිරවු රංචුවක් බහින්බස් වීමක්, ගෙදර බෙදාගන්න බැරුව. මම පියවි ලෝකෙට ආවෙ එතකොට. පාර දෙපැත්තෙ ලස්සනට පිපිල තිබුණු මල් පරවෙලා. කහපාට ලැහිල. නියගෙට අහුවෙලා පුරං වෙච්ච කුඹුර වටේ පියාබන කුරුලු සද්දෙ මහා කරච්චලයක්, කොහේද හිටපු මොණරෙක්ගෙ මහා විලාපය හරිම මූසල සද්දයක්. මගේ ඔලුවත් රිදෙනව. මම ඇඩුව කියල මතක නෑ, මගේ ඇස්වල කදුලු.
මම අවුරුදු හතලිහක් පුරාම මග බලාගෙන ඉන්න ඇය කවදාවත් එන්නෙ නෑ කියල මම දන්නව. මොකද එයා විවාහ වෙලා දරුවන්ගෙ දරුවො (මුණුපුරු මිණිපිරියො)  රකිනව. මුහුදෙනුත් එහා රකට.
පරණ රේඩියෝ එකේ බොහොම හිම්න් ගීතයක් වාදනය වෙනව. හරියට මං වෙනුවෙන්ම ගයනව වගේ...

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවයක් නෑ..
එදා සෙනෙහෙන් නොබැදුණා නම් 
වියොවක් නෑ...
ඒත් අදත් මම තාමත් පාර දිහා බලාගෙන...
සිතුවිළි පන්හිද - ධනුෂ්ක (ධනූ)

Tuesday, March 3, 2020

භික්ෂුව සහ බුද්ධ චීවරය


භික්ෂුව සහ බුද්ධ චීවරය

භික්ෂුවක් හා සම්භන්ද මුහුණු පොතෙහි දුටු කාටූනයක් හා එයට ඵලකල තිබූ අදහසක්(COMMENT) හේතුවෙන් මෙය ලිවීමට තීරණය කලෙමි. එම ඡායා රූපය මෙහි ඵලකිරීමට සිදුවීම පිළිබදව මා මුලින්ම ඔබගෙන් සමාව අයැද සිටිමු.
 එය ඵල නොකොට මෙම පැහැදිලි කිරීම කල නොහැක. ඉහත රූපයේ සිටින්නේ බෞද්ධ භික්ෂුවකි. පිරිසකට අනුව චීවර දාරියෙකි. ඔහු රදා ඇත්තේ බුද්ධ චීවරයයි, එය තුල සිටින පුද්ගලයා පෘතග්ජනයෙකි. දහසකුත් වැරදි ඔහු තුල තිබිය හැක. එහි ප්‍ර‍ථිඵලය ඔහුටමය. එය පැළද සිටින්නා තුළ යම් වැරැද්දක් ඇත්නම් එය නිවැරදි කළ යුත්තේ මහ නායක හිමිවරුන් ඇතුළු සංඝ සමාජය විසින් මිස ගිහියන් වන අප විසින් නොවේ. උන්වහන්සේගේ මතය දේශපාලනිකව ඔබේ මගේ මතයට අනුකූල නොවිය හැක. එහෙත් මෙවන් ඡායාරූප යොදාගනිමින් නිග්‍ර‍හ කිරීම කිසිවිටකත් අනුමත කළ නොහැකිය. එය උඩබලා සිට කෙල ගැසීමක් වැනිය, නැවත වැටෙනුයේ තමා මුහුණ මතමය. මුහුණ සමග තරහවී නහය කපා ගැනීමකි.  එයින් ලොකයටම පෙන්වන චිත්‍ර‍ය පිළිකුල් සහගතය. මෙම චිත්‍ර‍ය ඵලවූ මුහුණුපොත් පිටුවෙහි තිබූ අදහසක කියැවුනේ චීවරය තුලින් බුදුන් වහන්සේ නොදැකිය යුතු බවයි. නමුත් අතීතයේ සිට බෞද්ධයා බුද්ධ චීවරයට මහත්සේ ගෞරව කල පිරිසකි. දේශපාළන පාටකින් චීවරය දෙස නොබැලිය යුතුය. එය දරන්නාට දේශපාළනයක් තිබිය හැක. යමෙකු ඒ මතය සමග එකග නොවිය හැක. එවිට අප කළයුත්තේ එම මතය බැහැර කිරීම මිස පෙදුවේ බෞද්ධ භික්ෂුව විවේචනය කිරීම නොවේ. අප යමෙකු භික්ෂුවක් ලෙස හදුනාගන්නේ චීවරය තුලිනි. එබැවින් මෙම ලිපිය යම් අවස්ථාවක කියවන ඔබ ඔබගේ අදහස් සමග නොගැලපෙන භික්ෂුවක් වේනම් උන්වහන්සේට ගෞරව කිරීමටද නොහැකි නම් ප්‍ර‍සිද්ධියේ විවේචනය නොකොට සිටීනම් යහපත්ය.සමාජ මාධ්‍ය (SOCIAL MEDIA) හරහා එය ලොවටම ප්‍ර‍සිද්ධ කිරීම තුලින් හානිය සියළු බෞද්ධ සමාජයටමය. ඔබ දුරදිග නොබලා සිදුකරන දෙයින් සිදුවන්නේ  සමස්ථ භික්ෂුවට හා බෞද්ධ දර්ශනයටම මහත්වූ හානියකි. තමන්ටද සිදුකර ගන්නා මහත්වූ අකුසලයකි.

ඔබට යමෙකු පිළිබද අදහසින්, ක්‍රියාවෙන් නොගැලපීමක් ඇත්නම් ඔහු බැහැර කරන්න. විවේචනය නොකරන්න.

Tuesday, February 25, 2020

බඩගින්න

බඩගින්න 
මේ කථාව කොහොම පටං ගන්නද කොතනින් ඉවර කරනවද කියල හිතාගන්න බැරුව දවස් ගානක් මේක ලියන එක දුර ඇදුන. ඒත් අද කොතනින් හරි පටන් අරගෙන මේක කියන්න ඕන කියල හිතුණ නිසා පටන්ගත්ත. මේ සිදුවීම උනේ 2020/02/02 ඉරිදා දවසක්. දවස දකිනකොටම දන්නව ඇති මීට කලින් මගේ Blog කියෙවුව නම් මේකට දහම්පාසල සම්බන්දයි කියල. වයස තිහක්, ඒත් අපි ඉතින් තාමත් දහම්පාසල් යනවනේ.
ඔන්න ඉතින් පුරුදු විදිහට පෙබරවාරි 02 දා වෙනදට වැඩිය පාන්දර, වෙනදට වැඩිය පාන්දර කිවුවෙ අපි දහම්පාසලට යන්න ඕනෙ උදේ 06.30 වෙද්දිවත්, මොකද දහම්පාසලෙත් රතු ඉර ගහනව පරක්කු උනොත්. විශේෂයෙන් මම යන්න ඕන මොකද මම උප ප්‍ර‍ධානාචාර්ය නෙ. (ඒකත් යන්තම් කියාගත්ත හි.. හි..) මම මේ කියන දවසෙ අපි දහම්පාසලේ පළමු ශ්‍රේණියට අලුතින් ළමයි ගන්න දවස.
මම මීට කලින් කිවුවද මතක නෑ අපේ දහම්පාසල ඉස්කෝලයක් වගේ තමයි. ළමයි දාහකට වැඩිය ඉන්නව. (වැලිගම අග්‍රබෝධි රජමහා විහාර, ශ්‍රී ධර්මරාජ දහම්පාසල) පළමු ශ්‍රේණියට අපි ළමයි ගන්නෙ ටිකක් ප්‍ර‍මාද කරල අනෙත් දහම්පාසල් වලට ලමයි ගත්තම වෙනම අයදුම්පත්‍ර‍ අරගෙන සම්මුඛ පරීක්ෂණ එහෙම තියල තමයි. අනෙත් දහම්පාසල් වලට පසුව ගන්නෙ නැත්නම් ඒවගෙන් දෝශාරෝපන එවන ඒවට ළමයි නෑ කියල. කොහොම හරි ලොකු කමත් කිවුවනේ දැන් කථාව කියන්නම්. 
      කොහොමහරි මම වෙනදටත් වැඩිය උදෙන් දහම්පාසලට ගියේ වැඩ ගොඩක් තියෙන නිසා. (ළමයි ලියාපදින්චි කරන වැඩ, පිළිගැනීම් උත්සව, සංග්‍ර‍ වගේ බොහො දේවල්) කොහොමහරි අපි හිතුවට වඩා ළමයි ප්‍ර‍මානෙ වැඩි උනා. කොච්චර කලින් අයදුම්පත්‍ර‍ අරගත්තත් එදාටත් කීපදෙනෙක් හරි එනවනේ. ආවම මොකද එලවන්නද, දහම්පාසලකටනෙ එන්නෙ. ඒකත් එක්කො දායක පවුලක් නැත්නම් ගුරුවරයෙකුගෙ හිතවතෙක්. එහෙම උනාම කොහොමද නොගෙන ඉන්නෙ, නේද. ළමයි 63 ක් හිටිය. මේක ලියන දවස වෙනකොටත් තවම අළුතින් ළමයි බාර දෙනව පිංවතුනි. ඩෙස් පුටු තමයි නැත්තෙ. (වෙළද විරාමය සදහා අනුග්‍ර‍හය මගෙන්.. හි..) හරි අන්තිමට එදා උදේ වැඩසටහන කොහොමහරි ගොඩදාගත්ත කියමුකෝ.(ගොඩ දාගත්ත කිවුවෙ තුන, හතර පන්තිවල පුටුටික අපි ගෙනාව එක වසරට. දැන් ඒ ළමයි හිටන් තමයි ඉන්නෙ. රටම හිටං එක්ක අවුරුදු පහක්ම හිටම්ම හිටපු එකේ ඕක මොකක්ද නේද. මට හරිම වේදනයි ඒකට) ඔන්න මම කියන්න ආපු කථාව දැන් කියනව, මම කිවුව එක වසරෙ පිළිගැනීම් වැඩ ඔක්කොම ඉවර වෙලා ළමයි හැමෝම අළුත් පන්තියට යවල මාත් ඉතින් එක වසර පැත්තට ගියා පොඩි සෙට්එක බලල එන්න හිතාගෙන. (අපේ පන්සල තියෙන්නෙ කන්දක් උඩ කොටස් තුනකට පහලම කොටසෙ ආවාස ගේ සහ ධර්මශාලාව, දෙවැනි කොටසෙ පුස්තකාලය සහ පෙරපාසල/දහම්පාසලේ පළමු ශ්‍රේණිය, උඩ මළුවෙ බෝධින්වහන්සේ, වෙහෙර වහන්සේ සහ හිටි පිළිම වහන්සේ හා සැතපෙන පිළිමය සහිත ඉපැරණි බුදුමැදුර. පන්සලේ අයිතිහාසික වැදත්කම වෙනම ලිපියකින් කියන්නම්. ඒක දැනගන්නම ඕන කතාවක්.) හරි මම එක වසරට යන්න හිතාගෙන යද්දි දෙවැනි මළුවෙදි මගේ ලගට පොඩි පිරිමි දරුවෙක් දුවගෙන ආව දෙක වසරෙ, තුන වසරෙ විතර. අවිත් මගෙ අතේ එල්ලිල මට කිවුව සර් අද අම්ම මට කෑම දුන්නෙනෑ අම්මට සල්ලි නැති නිසා කියල. මට මගේ හදවත එක මොහොතකට නතර වුනා වගේ දැනුන. මම ඒ පුංචි දරුවගෙ අතින් අල්ලගෙන පොඩ්ඩක් ඈතට ගියා. ගිහින් විස්ථර ටිකක් ඇහුව. අම්ම ගෙදර, තාත්ත කුලී වැඩක් අහුවුනොත් කරනව. මම හිතනව ඒක ඇත්ත කියල. අනික එහෙම බොරුවක් කියන්න තරම් බොරුවක් හදන්න විදිහක් නෑ. එදා ඒ අම්මට සල්ලි නැතිවෙන්න ඇති කෑමට මුකුත් දෙන්න. මමත් ඒ ළමය එක්ක එක වසර ලගට ගිහින් එයාව එළියෙන් තියල පන්තිය ඇතුලට ගිහින් තිබුණ කෑම වලින් පිගානක් (paper plate) බෙදාගෙන එලියට එද්දි ළමය නෑ, මම ඒ ළමය හොයාගෙන තුන වසර පන්තියට යද්දි ආයෙත් දුවගෙන මගෙ ලගට ආව. මම හිමීට එයාට කෑම එක දීල අනිත් දවසෙ කෑම නොගෙනාවොත් උදෙන්ම ඇවිත් මට කියන්න කියල මම ආයෙත් කාර්යාලයට ආව. මේක ලියන දවස වෙනකොට සති තුනක් විතර ගෙවිල හැබැයි තවම ඒ දරුව ආයෙ මං හම්බවෙන්න ආවෙ නෑ. සමහර විට දැන් කෑම ගේනව ඇති. හොදයි ඕක තමයි මට කියන්න ඕන වුනු කතාව, එහෙම කන්න නැතුව දරුවෙ කීදෙනෙක් මේ ලෝකෙ ඇත්ද ? අපි අතට වළල්ලක් නැතුව කරට මාළයක් නැතුව අඩද්දි කී දාහක් කන්න නැතුව බඩගින්දර උහුලගෙන ඇද්ද? හිතන්න කාලයයි මේ. 
මම නවතිනව, ආයෙ හමුවෙමු !
වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක්වී බතක් නොඉදෙන පැළක රහසින්

කියෙව්ව නම් අදහසකුත් ලියාගෙන යන්න...

Monday, June 10, 2019

කුඩය ඇල්ලීම සහ සමාජ මාධ්‍ය

කුඩය ඇල්ලීම සහ සමාජ මාධ්‍ය (බලනව නම් බලපං, නැත්නම් ඒත් බලපං.)

දෙවන පදවි ප්‍රාප්තියෙන් පසු ලංකාවට ආපු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකා ජනපති සිරිසේන මහතා කුඩය ඇල්ලීම පිළිබඳ සමාජ මාධ්‍ය තුල ඉමහත් විවේචනයක් සිදුවනු දුටු නිසා ලිවීමට සිතුනි.

මා එම විවේචනය කරන්නන් තරමට බුද්ධිමත් නොවෙනු ඇත. එහෙත් මිතුරකුට තවත් මිතුරකු කුඩය ඇල්ලීම අතිශය සාමාන්‍ය දෙයක් යැයි මට සිතේ. ඔබ මිතුරකු සමග ගමනක් යන විට වැස්සක් ඇතිවුවහොත් ඒ මොහොතේ ඔබ අත පමනක් කුඩයක් ඇත්නම් නැතහොත් අනෙකා අත පමණක් කුඩයක් ඇත්නම්  ඔබ හෝ ඔහු කුඩය දෙදෙනා වෙනුවෙන් ඇල්ලීම මොන විදිහේ අඩුපාඩු කමක් දැයි මට නොහැගේ. ඉහත ජනපති, අගමැති අතර සිදුවීමද එවැනි දෙයක් පමනි. තම විදේශ මිතුරා වැස්සෙන් ආරක්ෂා කිරීම විවේචනය නොව අගය කලයුතු දෙයකි. සියල්ල වැරදි ලෙස දැකීම අනුවන කමකි. එමෙන්ම යම් හෙයකින් කුඩය ඇල්ලීමට වෙනත් නිලදාරියෙකු යොදා ගත්තේනම් මුන්ට කුඩ අල්ලන්නත් මිනිස්සු ඕනෙද. මුන්ම කුඩය අල්ල ගත්තොත් හෙන ගහනවද යනුවෙන් ඔබගේ විවේචනය වෙනස්වනු ඇත. ඔවුන් දෙදෙනා අත කුඩ තිබුනේ නම්, මුනුත් රාජ්‍ය නායකයොද කුඩයක් අල්ලන්නවත් එකෙක් නැති හැටි රටටත් එක්කම ලැජ්ජාවක් යැයි පවසනු ඇත.

උදාහරණයක් ලෙස ඔබ අසා ඇති ඊසෝප්ගේ උපමා කතාවක් මෙසේ ලියා තබමි. දිනක් පියෙකු සහ පුතෙකු තමා ලග සිටි බූරුවකු අලවි කිරීම සඳහා රැගෙන යන විට මඟ සිටි මිනිසුන් මෙසේ කීය. බලන්න මේ වගේ මෝඩයො දෙන්නෙක් බූරුවෙක් තියාගෙන පයින් යන හැටි., මෙය ඇසූ පිය පුතු බූරුවා පිට නැගී ගමන් කරන්නට විය. මද දුරක් යන විට තවත් පිරිසක්, මේ වගේ පවුකාරයො දෙන්නෙක්. අර සතාට උහුලන්න පුළුවන් බරක්ද අර යැයි විහිළු කල නිසා පියා බූරුවා පිටින් බැස පුතු බූරුවා මත ගමන් කරන්නට විය. ගියේ මද දුරකි, අපොයි මෙහෙම දරුවො තාත්ත පයින් යනව පුතා සැපට බූරුවා පිටේ යනව යැයි මිනිසුන් දොස් නගන්නට වූ හෙයින් පුතු බිමට බස්සවා පියා බූරුවා පිට නැගීය. ගියේ මඳ දුරකි. මිනිසුන් ⁣මෙසේ කීය. අපොයි මෙහෙම තාත්තා කෙනෙක් මේ පුංචි දරුව මෙච්චර අමාරුවෙන් පයින් යද්දි තාත්ත සැපට යන හැටි. ඔවුන් තුළ සියළු විකල්ප අවසන් හෙයින් අවසානයේ ⁣පියා සහ පුතා බූරුවා කරපිට තබාගෙන වෙළෙඳ පළ වෙත ගියේය.

සියළු දෙනා සතුටු කිරීමට උත්සාහ  කිරීම ඉමහත් මෝඩ ක්‍රියාවකි. විවේචනය කිරීමද එසේමය. වරද විවේචනය කළ යුතුය. නමුත් අගය කළයුත්තද විවේචනය කිරීම යහපත් නොවේ. වැරදි දහසක් මැද උවද එක හොදක් ඇත්නම් එය අගය කිරීමට පුරුදු වෙමු.

රැල්ලට නොගොස් වැල්ලේ නවතිමු.
(සැ.යු : ශ්‍රී ලංකා ජනපති පිළිබඳ පොදු විවේචනය මෙයින් වෙනස් නොවේ.)

ගාලු කොටුවෙ මතක කතා

මේක ගීත කතාවක් මීට වසර කීපයකට කලින් මගේ මිතුරෙකුගෙ පෙම් හමුවකට සහයක වශයෙන් සහභාගී වෙන්න කියල ආරා ධනා වක් ලැබුණ. ඒක ඔවුන් දෙදෙනගෙ පළමු හමුවී...