Thursday, January 28, 2021

පාට නැති හීන..


හැමදාම පායපු ඉර අදත් උදෙන්ම අහසට ආව. ඒත් තව වෙලා රෑ දිග උනා නම් හොදයි කියල මට හිතුණ. මොකද එලිවෙද්දි ඇහැරෙන්නෙ ඇස් දෙක විතරක් නෙමෙයි හිතත් අවදි වෙනවනෙ. හැමදාම පුරුද්දට වගේ අදත් පාර දිහා බලාගෙනම මගේ හිත ඈතටම ගියා. දෙපැත්තෙ මල් පිපිල, කුරුල්ලො සින්දු කියනව. දෙපැත්තෙ කුඹුරු වල ගොයම් හුළගට වැනුනෙ හරියට කුරුළු ගීත වලට තාලෙ අල්ලනව වගේ.. ඉර පායප තිබුණට ඇගට හීතලකුත් දැණුන. පොඩි නංගිල මල්ලිල එක්කෙන දෙන්න පාර දිගේ එන්නෙ හරියට සුදු කොක්කු රෑනක් වගේ. වටපිටාව පුදුම ලස්සනයි, මගේ හිතත් ඒ වගේම ලස්සනයි. කන්ණාඩියෙන් මූණ බලනව, කොන්ඩෙ පීරනව, ආයෙත් අතින් වෙනස් කරනව හරියට මගුල් ගෙදරක යන්න වගේ. ඒ අස්සෙත් ඇස්දෙක පාර දිහාට දුවනව. ආයෙත් කන්ණාඩිය ලග අයියගෙ ක්‍රීම් එකත් ගානව, මටත් වෙලාවකට පිස්සු වගේ...
තාමත් ඇස්දෙක පාර දිහා බලාගෙන.....
පාරෙ ඈතින් මතුවෙන රූපයක් නිසා හිත ගැස්සෙනව, වැට අයිනට ගිහින් හොදට බලනව. ඒත් එයා නෙමෙයි. ආයෙත් දොරකඩ ලගට වෙලා පාර දිහා බලනව, අනිමිස ලෝචන පූජාව. එයා අද එනවද, එන්නෙ නැද්ද, ඇයි අද පරක්කු, අතොරක් නැතුව හිත හිතනව. පරක්කු උනාට එයි ඒවි මම හිත හදාගන්නව.
කවදාවත් එක වචනයක් වත් කතාකරල නැති මං ගැන හිතනවද දන්නෙ නැති කෙනෙක් ගැන මම මොකට මෙහෙම වදවෙනවද, එයා මං ගැන හිතන්නෙවත් නැතුව ඇති. මාව මතක්වෙන්නෙ වත් නැතුව ඇති. අනික මම එයාගෙ කවුද, මං ගැන හිත හිත ඉන්න. මාව මටවත් අයිති නැති එකේ ඇයි එයා මං ගැන වදවෙන්නෙ, මම ඇයි එයා ගැන වදවෙන්නෙ. ඒත්
තාමත් ඇස්දෙක පාර දිහා බලාගෙන.....
හීත තවම හිතනව, හීන මවනව. හැබැයි ඒ හැම දෙයින්ම එයාව දකින්න තියෙන කැමැත්ත තව වැඩියෙන් හිතට දැනෙනව. ඈත වංගුවෙන් මතුවෙන රූප නිසා හිත ගැස්සෙනව. හරියට නැතිවුනු දෙයක් හොයනව වගේ. ඇස් ලොකු කරගෙන මග බලපු රූපය හොයනව. හතර පස් දෙනා එකට එනකොට එක්එක්කෙනාව වෙන වෙනම බලනව, ඒත් එයා තාම නෑ. හිතට දුකයි තරහයි, දෙකම. මගේ ඇහැට එයාව මග හැරුණද. එයා මට නොපෙනි ගියාද? මම බලන් ඉදපු විදිහට මට එයාව මගහැරෙන්න විදිහක් නෑ.
දැන් හොදටම පරක්කුයි, ඉස්කෝලෙ පටංගන්නත් ලගයි, අද එන්නෙ නැතුව වත්ද  ? එහෙම උනොත් කොහොමද මම කාමරේට වෙලා පාඩම් වැඩක් කරගන්නෙ, උසස්පෙළ විභාගෙට තව මාස කීයද, දැන් නම් එයා නොදැක, මොකද උනේ නොදැන එක හිතකින් කිසි දෙයක් කරනව බොරු. හිත තාම කියන්නෙ එයා ඒවිමයි කියල. 
හොදට දැකල පුරුදු මූණක් පාරෙ ඈත වංගුවෙන් මතුවෙනව, හිතේ ගැස්ම හරියට තොවිලෙ බෙරේ වගේ. ඒ එයාගෙ නංගි. අද නංගි තනියම මොකද, එයා එන්නෙ නැද්ද? මොනව වෙලාද? ලෙඩක් වත් හැදිලද, දැන් තවත් ප්‍ර‍ශ්ණයක්. නංගි ඉක්මන් ගමනින් අඩිය තියල එනව, අද හොදටම පරක්කුයි නෙ. අද අක්ක නැත්තෙ මොකද කියල නංගිගෙන් අහන්නද ? බෑනෙ. එතකොටම අම්මත් ඉක්මනට ඉක්මනට පොඩි දුව පිටිපස්සෙන් එනව. මැරතන් එකක් වගේ. ඒත් මම ඇස් රිදෙනකම් බලන් ඉදපු කෙනා නම් පේන්න නෑ, එතකොට එයා ගෙදර තනියමද ? මගේ ඔලුව තොවිලෙ වගේ අවුල් වෙලා. ගෙදර තියෙන තැන දන්නව නම් ගිහින් රවුමක් ගහල බලන්නවත් තිබුණ. ඒකටත් ඉත්න් ගේ තියන තැන දැනගෙන ඉන්න එපායැ. හොයන් යන්නත් බයයි, මාට්ටු උනොත් මේ දකින්න තියෙන ටිකත් නැති වෙනව නෙ. 
රෝස පාට ගවුමක් ඇදගත්ත රූපයක් වංගුවෙන් මතු උනා. කිසිම හදිස්සියක් නෑ,ඒ එයාම තමයි. හිමින් හිමින් අම්මගෙ පිටිපස්සෙන් එනව. මට නම් හිනාත් එක්ක. පොඩි දුව ඉස්සරහින්, අම්ම අඩි විස්සක් විතර පිටිපස්සෙන්, ඊට පස්සෙන් එයා. හරියට විරසක වෙච්ච අය වගේ.  කොහොම හරි අපේ ගෙදර ලං වෙනකොට අර දුර පරතරය ඉවරයි. දැන් අම්මට ලංවෙලා අම්මව මොකක් හරි කතාවකට අල්ල ගන්නව. අම්ම එක්ක කතා කරන ගමන් හොරාට අපේ ගේ දිහා බලනව. අම්මටත් ටිකක් සැකයි වගේ, මොකද හැමදාම වෙන්නෙ එකම විදිහටනෙ. අපේ ගේ දිහාත් දූ දිහාත් බලනව. ඒත් අම්ම මම දැක්කෙ නෑ. එයා තාමත් මං දිහා බලාගෙන.
උදේ පාන්දර ඉදල හැඩ වෙලා ඇස්දෙක රිදෙන කම් පාර බලාගෙන ඉදපු මම ඒ ඇස්වලින් බේරෙන්න බිම බලාගන්නව. මම ඔලුව උස්සනකොට එයා ගේ පහුකරල ගිහින්. අනේ ඉතින් මම වගේ මෝඩයෙක්, අච්චර මූණ බලපු වෙලාවෙ හිනාවෙන්න තිබුණු අවස්තාව නැතිකරගත්තෙ. මම හිනා උනාම එයා හිනා නොවුනොත්? මම මටම දොස් කියා ගන්නව. එයා මං දිහා බලල හිනා උනාද? රැවුවද? දැන් තව ප්‍ර‍ශ්ණයක්. එයා බලුවෙ මට කැමති නිසා වෙන්න ඇති. මම හිත හදාගන්නව.
මෙහෙම දේවල් හිතෙන්නෙ මට විතරද? නැත්නම් හැමෝම එහෙමද ? කාගෙන්වත් අහන්නද. උන් කියාවි උබට පිස්සු හැදීගෙන එනවද කියල. මේක පිස්සුවක් නම් මට ඇත්තටම පිස්සු. 

මම තාමත් පාර දිහා බලාගෙන...

ලොකු සද්දයක් එක්ක ලොකු රන්ඩුවක්. ගෙදර ඉස්සරහ තියෙන මැරිච්ච කිතුල් ගහේ බිත්තර දාන්න ආපු ගිරවු රංචුවක් බහින්බස් වීමක්, ගෙදර බෙදාගන්න බැරුව. මම පියවි ලෝකෙට ආවෙ එතකොට. පාර දෙපැත්තෙ ලස්සනට පිපිල තිබුණු මල් පරවෙලා. කහපාට ලැහිල. නියගෙට අහුවෙලා පුරං වෙච්ච කුඹුර වටේ පියාබන කුරුලු සද්දෙ මහා කරච්චලයක්, කොහේද හිටපු මොණරෙක්ගෙ මහා විලාපය හරිම මූසල සද්දයක්. මගේ ඔලුවත් රිදෙනව. මම ඇඩුව කියල මතක නෑ, මගේ ඇස්වල කදුලු.
මම අවුරුදු හතලිහක් පුරාම මග බලාගෙන ඉන්න ඇය කවදාවත් එන්නෙ නෑ කියල මම දන්නව. මොකද එයා විවාහ වෙලා දරුවන්ගෙ දරුවො (මුණුපුරු මිණිපිරියො)  රකිනව. මුහුදෙනුත් එහා රකට.
පරණ රේඩියෝ එකේ බොහොම හිම්න් ගීතයක් වාදනය වෙනව. හරියට මං වෙනුවෙන්ම ගයනව වගේ...

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවයක් නෑ..
එදා සෙනෙහෙන් නොබැදුණා නම් 
වියොවක් නෑ...
ඒත් අදත් මම තාමත් පාර දිහා බලාගෙන...
සිතුවිළි පන්හිද - ධනුෂ්ක (ධනූ)

No comments:

Post a Comment

ගාලු කොටුවෙ මතක කතා

මේක ගීත කතාවක් මීට වසර කීපයකට කලින් මගේ මිතුරෙකුගෙ පෙම් හමුවකට සහයක වශයෙන් සහභාගී වෙන්න කියල ආරා ධනා වක් ලැබුණ. ඒක ඔවුන් දෙදෙනගෙ පළමු හමුවී...