Tuesday, July 5, 2022

මතක දිගේ වෙරළට

 

  හවසට ඉර බැහැගෙන යද්දි ඉර මුහුද සිප ගන්නව වගේ කියල මට හිතූන. හරියට මුහුදු වෙරෙළ පේලියට වාඩිවෙලා ඉන්න පෙම්වතූන් සිපගන්නව වගේ. ඒත් අද ඒක ඇත්තටම එහෙමද කියල මට හිතුන. ඉර මුහුදත් එක්ක තරහ වෙලා. ඈත ගස් අතරින් හිමිහිට පල්ලම් බහිනව.

 ඉර මුහුදත් එක්ක තරහ වෙලා, ඇය මාත් එක්ක තරහ වෙලා. හරියට අපි ගැන දැනිල වගේ. මුහුදු රැල්ලත් වෙරළත් එක්ක රහස් කථාවක. රැලි එක එක හිමිහිට ඇවිත් වෙරළට මොනවද මුමුණනව. හරියට මම අද තනියම ඇයි අහනව වගේ. ඒ තරම්ම මුහුද අපිට ලන්වෙල.

       මුහුදෙ පෙනෙන නොපෙනෙන ඈත නැවක්, හරියට පොඩිකාලෙ පොත් වල පිටු කඩල හදපු කොල බෝට්ටුවක් වගේ. ඒ දිහා බලාගෙනම මගේ හිතත් ඈතට ගියා.

මටවත් හොයාගන්න බැරිතරම්.

       හැමදාම ගෙදරට බොරුවක් කියල ගෙදරින් පැනගත්තට එයාව ගෙදරින් ගන්න එක පොඩි ක්‍රියාන්විතයක් වගේ. පුස්ථකාලෙට යනව කියල හැමදාම ගෙදරින් පැන ගත්තට කවද හරි ඒ බොරුවට ආයුෂ නැතිවෙන බව අපි දන්නව. ඉස්සරනම් පන්ති යන නිසා බොරු කියන්න ඕන උනේ නෑ. ඒත් දැන් එහෙම නැති නිසා වෙන කියන්න තරම් හොද බොරුවකුත්නැති එකේ ඒ බොරුවම හැමදාම පෙරලනව. බොරුවක් කියල ගෙදරින් පැනගත්තට මොකද යන්න තැනකුත් නෑ.

අපිට එකම පිහිට මේ මහ මුහුද විතරයි.

      මේ බංකුවක් උඩ වාඩිවෙලා අපි කථා නොකරපු දෙයක් නැති තරන්. ඒත් හැමදාම කථා කරන්න තරම් දේවල් තිබුන. ආදරේ කරන අය කථා කරන්නෙ අනාගතේ ගැන කිවුවට අපි අපේ ගැන කථා කලේ නැති තරම්. අපි කථා කරේම අනිත් අයගෙ ප්‍රශ්ණ ගැන. හැබැයි අපිට ප්‍රශ්ණ නොතිබුණා නෙවෙයි. ඒ හැම ප්‍රශ්ණයක්ම අමතක කරල අපි අනෙක් අයගෙ ප්‍රශ්ණ වලට පිළිතුරු හෙවුව. ඒක විහිලුවක් කියල හිතුනට ඒක තමයි ඇත්ත.

        අපි හැමදාම අහසයි මුහුදයි එකතුවෙන ක්‍ෂිතිඡය දිහා බලාගන තර්ක කරා, වෙලාවකට ඇඩුව. මොකද අපිත් හරියට එකතු නොවෙන ක්‍ෂිතිඡය වගේ කියල හිතනකොට ඉවසන්න බැරි තරම් දුකක් හිතට දැනුණ. හවසට මුහුදට පහත්වෙන ඉර දිහා බලාගෙන අපි හීන දැක්ක. පොඩි දරුවො වටවෙල හදන වැලි මාලිගා මුහුදු රැල්ලට කඩාගෙන වැටෙන කොට අපි හිනා වුනාට කවදාවත් අපි හදපු හීන මාලිගා මේ විදියට කඩා වැටේවි කියල කවදාවත් හිතුවෙනෑ. මොකද ඒ තරම්ම හොද පදනමක් ඒවට තිබුන. ඒත් ඒ හැම හීනයක්ම හීනයක් විතරයි කියල හිතෙනකොට මහ හයියෙන් අඩන්න හිතෙනව. ලෝකෙටම ඇහෙන්න.

        මෙහෙම වෙනකොට ගෙදරින් නොදැන ගත්තම නෙමෙයි. ගෙවල් වලට පොඩි පොඩි ආරංචි ගිහින් තිබුනට තාම ගිණි ගත්තෙ නෑ. මොකද කියපු බොරුවල හැටියට සැක හිතන්න බැරි තරන්නෙ. පහු වෙනකොට නම් ගෙවල් වලින් දැන ගත්ත, එහෙම සම්බන්දයක් තියනවනම් දැන්ම නවත්තන්න කියල ගෙවල් වලින් අවසන් නිවේදනත් දැම්ම. මට ලොකූ ප්‍රශ්ණයක් නොවුනට එයාට නම් ගෙදරින් එලියට යන්න දුන්නෙ අම්මත් එක්ක විතරයි. මුහුදු හුලගට විරුද්දව පියාඹන්න හදන කූරුලු ඡෝඩුවක් වගේ අපිත් ඒ හැම ප්‍රශ්නෙකටම මුහුණ දුන්න.

    කාලයක් මෙහෙම ගෙවුන. ඒත් එකපාරටම එයා මාව මග හැරිය. මම එයාගෙ යාළුවගෙ අතේ විස්තර අහල යැවුව. හැබැයි එයා මට ලිවුවෙවත් පණිවිඩයක් එවුවෙවත් නෑ.

එයා දැන් වෙනස් වෙලා. එයාට මම කවදාවත් දැකල නැති කෙනෙක් වගේ. මගදි මුන ගැහුනත් අහක බලා ගන්නව. ඒ හැමදාම එයාට ගෙදරින් බලපෑම් ඇති ඒක නිසා වෙන්න ඇති කියල හිත හදා ගත්තට එයා තනියෙන් මුනගැහුනත් නොදැක්ක විදිහට ගිය දාට මම ඇඩුව, හයියෙන් ඇඩුව, ඒ ඇස් වලින් නෙවෙයි හිතින්.

     මේ වැල්ලෙ හැම වැලි කැටයක්ම අපි පාගල ඇති. ඒ වැලි කැටයක් ගානෙ අපිව අදුරනව. ඒත් එයා දැන් මාව අදුනන්නෙ වත් නැති ගානයි. අද මේ බංකුව එක පැත්තක් හිස් වෙලා. මම විතරක් තනියම මුහුද දිහා බලාගෙන. ඡීවිතේ හැටි මේක තමයි හැම හමුවීමකටම වෙන්වීමක් තියෙනව, අවශ්‍යතාවයට එන අය වැඩේ අවසන් උනාම යනව, අපිට නවත්තගන්න ඕන උනත්.

 මම කොහොම හරි හිත හදාගන්නව.

       මේ පාලුව තනිකම හරි කටුකයි එතකොට හිතනව වැඩියි. මම මගේ හොදම යාලුවට කෝල් එකක් ගත්ත.

ඔහුගෙ දුරකථනයෙ ගීතයක් වාදනය වෙනව.

         

      පැහැසර ඔබෙ අදරේ

      මන්දාරම් අදුරේ වෙලී

      සැගවී ගිය ඔබෙ සෙනෙහේ

      හිත රිද්දනවා රහසේ

 

     මගේ අතින් ඉබේම දුරකථනය විසන්දි වුනා.            

 

 

No comments:

Post a Comment

ගාලු කොටුවෙ මතක කතා

මේක ගීත කතාවක් මීට වසර කීපයකට කලින් මගේ මිතුරෙකුගෙ පෙම් හමුවකට සහයක වශයෙන් සහභාගී වෙන්න කියල ආරා ධනා වක් ලැබුණ. ඒක ඔවුන් දෙදෙනගෙ පළමු හමුවී...